
තවමත් මම අලුත් ජීවිතයට හුරුවෙනවා
ඉතින් කොහොමද තරුෂි?
සතුටින් ජීවිතය ගෙවී යනවා.
අලුත් ජීවිතය ගැන මොනවාද හිතෙන්නෙ?
හරිම සුන්දරයි. ඒත් මට හිතෙන්නෙ මම තවම මේ ජීවිතයට හුරුවෙමින් පවතිනවා කියලා.
ඇයි ඒ?
පුංචි කාලේ ඉඳන් හැදුනේ වැඩුනේ අම්මලා තාත්තලා නංගිලා මල්ලිලා එක්ක. දැන් මගෙ ගෙදර වෙලා තියෙන්නෙ අලුත්ම තැනක්. එතැන මාත් එක්ක ඉන්නේ අලුත්ම පිරිසක්. ඉතින් ඒ ගත කරන ජීවිතයත් මට අලුත්නේ. ඒකයි මම ඒකට තවම හුරුවෙමින් පවතිනවා කියලා කිවුවේ.
දඅලුත් නිවහනේ තරුෂිගේ නෑදෑ පිරිස ගැන කතා කළොත්?
මමයි මගෙ සැමියයි සැමියගෙ දෙමවුපියන් හා වැඩිමල් සහෝදරයා තමයි මේ ගෙදර ඉන්නේ.
කාර්යබහුල බව අඩු නිසා ගෙදර ගත කරන කාලය වැඩියි. නැන්දම්මා එක්ක එකතුවෙලා ගේ දොර කටයුතුවල යෙදෙනවද?
උයන පිහන කටයුතු සම්පූර්ණයෙන්ම වගෙ කරන්නෙ අම්මගෙ අතින්. මම උදේට සැමියගෙ කෑම එක ලෑස්ති කරලා දෙනවා. අපේ ගෙදර තියෙන්නෙ සැමියගෙ ගෙදරට ගොඩක් දුරින් නමෛයි. ඒ හින්දා විවේක වෙලාවට ගෙදර ගිහින් අම්මලා බලල එනවා. ඔය අතර කලක් ඉඳන්ම මගෙන් රුපලාවන්‍ය කටයුතු කරගන්න පැමිණි පිරිසක් හිටියා. ඒ අය වගේම මගෙන් රූපලාවන්‍ය කටයුතු කරගන්න අපේ ගෙදරට එන අය ඉන්නවා. ගෙදර ගිහින් ඒ කටයුතුත් කරල අම්මලත් බලල එන්න මට දැන් විවේකය තියෙනවා.
ඒ විවේකය ලැබුණේ රූපලාවන්‍යාගාරයත් නතර කරලා නිසාද?
ඒකත් හේතුවක්. මම පහුගිය කාලේ විවාහය ළං වන විට ඉතුරුවෙලා තිබුණු ටෙලි නාට්‍ය කටයුතු ඉවර කළා. ඒ වගේම විවාහයට සූදානම් වුණා. ඒ කටයුතු එක්ක මම ගොඩක් කාර්යබහුල වුණා. විවාහයෙන් පස්සේ මට ඕන වුණේ මාස කිහිපයක් නිදහසේ ඉන්න. අපි දෙන්නා පිටරටකට යන්නත් සැලසුම් කරගෙන හිටියා. ඔය ඔක්කොම දේවල් හින්දයි මගෙ රූපලාවන්‍යාගාරය වෙනත් කෙනෙකුට අලෙවි කළේ.
අනාගතයේදී නැවත ඔබගෙ රූපලාවන්‍යාගාරයක්් විවෘත කරනවද?
අනිවාර්යයෙන්ම එය සිදුවෙනවා. මගේම තැනක මගේ රූපලාවන්‍යාගාරයක් අරඹනවා. දැනටත් මම ඒ කටයුතුවලින් මිදිලා නැහැ. මගෙ ගෙදරට ඇවිත් මගෙ සේවය ලබාගන්නා අය ඉන්නවා.
විවාහයත් සමග තරුෂි රඟපෑමෙන් සමුගත්තා කියලා ඇතැම් අය හිතුවා.
විවාහයෙන් පසුව ලැබුණු ආරාධනා ප්‍රතික්‍ෂේප කළ හින්දයි ගොඩක් අය හිතුවේ මම රඟපෑමෙන් සමුගත් බව. ඒත් මම රඟපෑමෙන් සමුගත්තෙ නැහැ. මේ වන විටත් ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ “හඳපානාගල” රූගත කිරීම්වලට එකතුවනවා. එහි කොටස් 25ක් විතර කරලා තිබුණේ.
ඉතිරි දර්ශන තමයි මේ දවස්වල කරන්නේ. විවාහ වූ පසු අලුත් නිර්මාණ තවම භාරගත්තේ නැහැ.
ඇයි ඒ?
මම කලිනුත් කියලනේ තිබුණේ මාස කීපයක් යනතුරු අලුත් නිර්මාණ භාරගන්නේ නැති බව. ඒ හින්දයි ලැබුණු නිර්මාණ ප්‍රතික්‍ෂේප කළේ. හැබැයි දැන්නම් අලුත් නිර්මාණ භාර ගන්නවා.
සැමියගේ විරෝධතා නැද්ද?
නැහැ. මම කොහොමත් රඟපෑවේ තෝරා බේරාගත් චරිත. අනෙක මම රඟපෑ චරිත මිනිසුන්ගේ ආදරය ගෞරවය ලබන චරිත. ඉදිරියටත් ඒ තත්ත්වය ඒ වගේමයි. ඒ නිසා සැමියගෙන් විරුද්ධත්වයක් නැහැ.
අද සැමියා වෙලා ළඟ සිටින එදා ප්‍රේමවන්තයා ගැන මොකද හිතෙන්නෙ?
එදා වගේම තමයි. හැබැයි ඉතින් ඉස්සර නම් හරිම සැහැල්ලුවෙන් හිටියේ.
දැන්නම් ටිකක් වගකීම් සහගත වෙලා.
දෙදෙනා අතර පුංචි පුංචි අමනාපකම් ඇතිවන්නෙම නැද්ද?
මාව අවුස්සලා කේන්ති කරන්න එයා හරි කැමතියි. හැබැයි දැන් මම ඒකට හුරුවෙලා. ඒ නිසා කේන්ති යන්නෙ නැහැ.
ඔයාව මොනවා කරලද කේන්ති ගස්සන්නේ?
(හිනැ) මම මොනවා හරි කියන කොට ඒක ගණන් ගන්නේ නැතුව ඉන්නවා. සමහර වෙලාවට ඒකට විරුද්ධව වචනයක් කියනවා. ඒ වෙලාවට මට කේන්ති ගියාම ළඟට ඇවිත් කියනවා එහෙම කළේ මාව අවුස්සන්න කියලා.